බෝම්බයෙන් ඡන්දයට: දකුණු ආසියාවේ නීරස පාඩම්

අසංග අබේගුණසේකර

අසංග අබේගුණසේකර

‘‘ත්‍ර​ස්තවාදය පැසවන තුවාලයක් බවට පත්ව තිබේ. එය, මනුෂ්‍යත්වයේ සතුරෙකි’’- අතාල් බිහාරි වාජ්පායි

ත්‍ර​ස්තවාදී බෝම්බ පිපිරීම් සහ මැතිවරණ අතරේ සම්බන්ධතාවක් තිබේද? ත්‍ර​ස්තවාදී ක්‍රියාකාරකම් වැඩියෙන් දක්නට ලැබෙන දකුණු ආසියාවේ අතීත වාර්තා පෙන්නුම් කරන්නේ, මැතිවරණයකට ආසන්න වකවානුව තමන්ගේ ක්‍රියාකාරීත්වයන් සඳහා වන අනගි අවස්ථාවක් වශයෙන් ත‍්‍රස්තවාදීන් සලකන බව ය. ඉන්දියාව සහ වෙනත් දකුණු ආසියාතික රටවල් ඡන්ද කාලය තුළ ත්‍ර​ස්තවාදී ක්‍රියාවන්ට මුහුණදී තිබේ. ප්‍ර​ජාතන්ත‍්‍රවාදී නොවන රටවල් සමග සාපේක්ෂව ගත් විට, ප්‍ර​ජාතන්ත‍්‍රවාදී රටවල් තුළ දක්නට ඇති ඉහළ මට්ටමේ දේශපාලනික තරඟකාරීත්වය, ප්‍ර​ජාතන්ත‍්‍රවාදී නොවන රටවල්වලට වඩා ප්‍රජාතන්ත‍්‍රවාදී රටවල් ත්‍ර​ස්තවාදී ක්‍රියාවන්ට මුහුණදෙන්නේ මන්ද යන්න ඉඟි කරවන සාධකයකි.

1991 මැයි 21 වැනි දා, ඉන්දීය අගමැති රජිව් ගාන්ධි, ඉදිරියේ එළැඹෙන තමන්ගේ මැතිවරණ ප්‍ර​චාරක කටයුත්තක නියැලී සිටියදී, එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ මරාගෙන මැරෙන ‘කළු කොටි’ බලකායේ සාමාජිකාවක් වන 17 වියැති දානු නමැති බෝම්බකාරියගේ මාරක ප‍්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්විය. එය ඉන්දියානු මැතිවරණය කෙරෙහි තීරණාත්මකව බලපෑවේය. බෝම්බ ප්‍ර​හාරයට මත්තෙන් පැවති මැතිවරණ ප්‍ර​තිඵල සහ බෝම්බ ප්‍ර​හාරයෙන් පසුව දක්නට ලැබුණු මැතිවරණ ප්‍ර​තිඵල අතර විශාල වෙනසක් පෙන්නුම් කෙරුණි. ඝාතනය සිදුවුණේ, මැතිවරණයේ පළමු අදියරෙන් පසුව ය. රජිව් ගාන්ධිගේ කොන්ග‍්‍රස් පක්ෂය, ප්‍ර​හාරයට කලින් දුර්වල ඡන්ද තත්වයක් පෙන්නුම් කොට තිබුණද, ප්‍ර​හාරයෙන් පසුව ශක්තිමත් තත්වයකට ආවේය. ඒ අනුව, කොන්ග‍්‍රස් පක්ෂ සභාගය ජයග‍්‍රහණය කරමින් නරසිංහ රා ඕ අගමැති වශයෙන් තේරී පත්විය. මෑතකදී පැවැත්වූ ඉන්දියානු මහ මැතිවරණයේදී, රජිව් ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධි කොන්ග‍්‍රස් පක්ෂයට නායකත්වය දෙමින් සිටියදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍ර​හාරයක් සිදුවිය. එහිදී ඉන්දියානු සොල්දාදුවෝ 40 ට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූහ.

මේ බෝම්බ ප්‍ර​හාරයත් කෙලින්ම ඉන්දියානු මැතිවරණය කෙරෙහි බලපෑවේය. ඉන්පසුව ඇති වූ ඉන්දියානු පාකිස්තානු ප්‍ර​ශ්නත් ඊට එක්වුණි. එය, එතෙක් ආර්ථික අංශයෙන් සාර්ථකත්වයක් ලබා නොසිටි සහ ඉහළ විරැකියා ප්‍ර​ශ්නයකට මුහුණදෙමින් සිටි මෝඩිගේ පක්ෂයට වෙනස් ආකාරයක තල්ලූවක් සැපයීය. මේ පාකිස්තානු අර්බුදය මෝඩිට ස්වර්ණමය අවස්ථාවක් වූ බව, ‘දකුණු ආසියාතික වැඩපිළිවෙලේ’ අධ්‍යක්ෂ මිලාන් වෛශ්නාව් පෙන්වා දෙයි. ‘‘ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍ර​ශ්නයක් ඇති වූ විට එය විසින් තිරසාරත්වය, නායකත්වය සහ දේශපේ‍්‍රමිත්වය තදින් ඉල්ලා සිටිනු ලැබේ. මෝඩි නිතර උඩදාන්නේ ඒ කාරණා තුන ය.’’ ත්‍ර​ස්තවාදීන්ව ඉවරයක් කර දැමීමට මෝඩි ගෙන ගිය ප්‍රතිප්‍ර​හාරාත්මක කි‍්‍රයාකාරීත්වය, ජාතියේ ආරක්ෂකයා වශයෙන් ඔහුව ජනගත කොට ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට විශාල තල්ලූවක් සැපයීය. ‘‘උං සත්සමුදුර අස්සේ හැංගුණත් මං උංව හොයාගන්නවා’’ යනුවෙන් මෝඩි කළ ප්‍ර​කාශ, මැතිවරණයේ පැහැදිලි බහුතරයක් ලබා ගැනීමට ඔහුට දායක විය. මන්ද යත්, ඉන්දියාවේ ජාතික ආරක්ෂාව සඳහා ඔහුගේ නායකත්වය නැතිව බැරි අංගයක් වශයෙන් සමාජගත වූ බැවිනි.

පාකිස්තානු මහ මැතිවරණයට සති කිහිපයක් තිබියදී, 2007 දෙසැම්බර් 27 වැනි දා, එක් මැතිවරණ රැළියකදී එරට අගමැති බෙනාසිර් බූතෝට රාවල්පින්ඩි නුවරදී වෙඩි තබා බෝම්බ ගසා මරා දමන ලදි. මේ මරාගෙන මැරෙන ප‍්‍රහාරය දියත් කෙළේ, 15 වියැති බිලාල් නමැත්තෙකි. ඒ බිහිසුණු සිද්ධිය පාකිස්තානු මැතිවරණය කෙරෙහි කෙලින්ම බලපෑවේය. එහි අවසාන ප‍්‍රතිඵලය වුණේ, බෙනාසීර් බූතෝගේ පාකිස්තාන මහජන පක්ෂය එම මැතිවරණයෙන් නැවත බලයට පත්වීමයි.

මේ ආකාරයෙන්ම ශ‍්‍රී ලංකාවේත් මැතිවරණ කාලවල බෝම්බ ගැසීම් ජනතාවට නුහුරු දේවල් නොවේ. 52 හැවිරිදි, එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය අවසන් කරමින් සිටින අවස්ථාවක, එනම් ජනාධිපතිවරණයට සති දෙකකට කලින්, 1994 ඔක්තෝබර් 24 වැනි දා, එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ ප‍්‍රහාරයකින් මියගියේය. මෙය, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කෙරෙහි තදින් බලපෑවේය. අත්දැකීම් බහුල බොහෝ නායකයන්ගේ ජීවිත අහිමි විය. එය ඊළඟ ඡන්දය කෙරෙහි කෙලින්ම බලපෑවේය. එම ඝාතනයෙන් පසු, ඔහුගේ බිරිඳ වන ශ‍්‍රීමා දිසානායකව, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් පරාජය කරන ලදි. ඊළඟට, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ දෙවැනි වර ජනාධිපති අපේක්ෂකත්ව තරගයේදී, 1999 දෙසැම්බර් 18 වැනි දා, ඇයව එල්ල කරගත් ප‍්‍රහාරයක් කොළඹ නගර සභා භූමියේ පැවති ඡන්ද රැළියකදී සිදු විය. එයින් ඇගේ දකුණු ඇස තුවාල විය. ඒ ජනාධිපතිවරණයේදී එකී ප‍්‍රහාරය, ඡන්ද ප‍්‍රතිඵල කෙරෙහි තදින් බලපෑවේය. එම ප‍්‍ර හාරයෙන් තුවාල ලැබීමෙන් පසු, රූපවාහිනිය ඉදිරියේ පෙනී සිටි ඈ ඡන්දායකයන්ගේ අනුකම්පාව දිනා ගනිමින්, රනිල්ව පරාජය කොට යළිත් වරක් ජනාධිපති තනතුරට පත්වූවාය.

මේ සියලූ සිදුවීම් සලකා බලන විට පෙනී යන්නේ, සෘජුව ඉලක්ක කෙරුණු ඝාතන ප‍්‍රයත්නයන්, විපක්ෂය පරාජයට පත්කරමින්, එකී ඉලක්කගත අපේක්ෂකයාගේ හෝ ඔහුගේ ඉලක්කගත වින්දිත පූර්වගාමියාගේ ජයග‍්‍රහණය තහවුරු කොට ඇති බවයි. විපක්ෂ අපේක්ෂිකාව ජයග‍්‍රහණය කළ එකම අවස්ථාව වන්නේ 1994 ය.

අහිංසක සිවිල් වැසියල් 250 දෙනෙකු ඝාතනයට පත්කෙරුණු අපේ‍්‍රල් 21 ත්‍ර​ස්තවාදී ප‍්‍රහාරයත් ආණ්ඩුව කෙරෙහි විශාල බලපෑමක් ඇති කෙළේය. ඒ මගින්, ඒ දක්වා ¥ෂණය සහ මත්ද්‍රව්‍ය විරෝධී තලයක ගෙන ගිය ආණ්ඩුවේ ආයාසයන්, ත‍්‍රස්තවාදයට එරෙහි ව්‍යාපාරයක් සහ ජාතික ආරක්ෂාව සඳහා වන යොමුවීමක් දක්වා වෙනස් විය. මේ බලපෑම කාලයාගේ ඇවෑමෙන් තුනී වී යද්දී, ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ සඳහා එය කෙසේ බලපාවිදැයි සිතා බැලීම වටී.

ඊළඟ ඕනෑම මැතිවරණයකදී ත්‍ර​ස්තවාදය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ මාතෘකාව ඉස්මත්තට ගැනුණොත්, ඒ විෂය අරභයා වන අතීත පසුබිමක් සහිත අපේක්ෂකයා කෙරෙහි වැඩි වාසියක් සැලසෙනු ඇත. වොෂින්ටන් නුවර ‘බෲකින් බුද්ධි මණ්ඩලයේ’ ජ්‍යෙෂ්ඨ විශේෂඥයෙකු වන ඩැනියෙල් බෙන්ජමින් පෙන්වා දෙන පරිදි, රටක අනාගත ප‍්‍රතිඵල තීන්දු කිරීමට තමන් සමත් බව පෙන්වීම ත්‍ර​ස්තවාදීන්ගේ අවශ්‍යතාවක් වශයෙන් පවතින්නේය. විශේෂයෙන්ම ලෝක වේදිකාව තුළ යම් බලපෑමක් කිරීමට තමන්ට හැකියාවක් ඇති බව පෙන්වීම ත‍්‍රස්තවාදියා බලාපොරොත්තු වන දෙයකි.

යම් මැතිවරණයකදී විශේෂිත අපේක්ෂකයෙකු හෝ දේශපාලන පක්ෂයක් කෙරෙහි වාසිසහගත වන ආකාරයේ ප‍්‍රහාර දියත් කිරීමට ත්‍ර​ස්තවාදීන් උත්සාහ කරන්නේද? ත්‍රස්තවාදී ක්‍රියාවකින් යම් නිශ්චිත පුද්ගලයෙකු ජයග‍්‍රහණය කැරැවිය හැකි බවට නිශ්චිත සාක්ෂි නැත. එසේ වෙතත්, දකුණු ආසියාවේ මැතිවරණ කාලවල සිදුවන බෝම්බ ප‍්‍රහාරයන්, මැතිවරණ ප‍්‍රතිඵල කෙරෙහි ප‍්‍රබල බලපෑමක් කරන බවක් පෙනෙන්ට තිබේ. ඡන්දය පාවිච්චි කෙරෙන පිළිවෙල එවැනි ප‍්‍රහාර මගින් අනිවාර්යයෙන් වෙනස් කෙරෙන්නේ නැති වූවත්, එහි බලපෑමක් පූර්ව-මැතිවරණ සහ පශ්චාත්-මැතිවරණ තත්වයන් කෙරෙහි බලපවත්වන බව කිව හැකිය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ තුළ, තමන්ගේ දුක්ගැනවිලි කියාපෑමේ විවිධ සාමකාමී මාර්ග පුරවැසියන්ට තිබේ. එසේම එවැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ තුළ පවතින සිවිල් නිදහස පාවිච්චි කරමින් රජයට එරෙහි ප‍්‍රචණ්ඩ ක්‍රියා පහසුවෙන් සංවිධානය කර ගැනීමේ හැකියාවත්, කලකිරීමට පත්ව සිටින පුද්ගලයන්ට ලැබේ. ‘මැතිවරණ කාලවලම ත‍්‍රස්ත ක‍්‍රියා සිද්ධ කිරීම’ නමැති ස්වකීය අධ්‍යයනය තුළ, ප‍්‍රින්ස්ටන් විද්‍යාර්ථිනියක් වන ඩෙනිස් ඇක්සෝයි පෙන්වා දෙන පරිදි, ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ කාල පරිච්ෙඡ්ද උණුසුම් දේශපාලනික ප‍්‍රතිවාදී තරග සිදුවන අවස්ථාවක් වන අතර, එම තරගය ත‍්‍රස්තවාදි සමූහ ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑමක් ඇති කරවයි’’.

දකුණු ආසියානු රටවල පවතින චංචල සහ ඉරිතැලූණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සැකසුම තුළ, ත්‍ර​ස්තවාදී ප‍්‍රහාර මගින් මැතිවරණ ප‍්‍රතිඵල කෙරෙහි වෙනස්කම් ඇති කිරීමේ හැකියාව පවතින බව කල්තියා වටහාගෙන සිටීම වටනේය. ප‍්‍රහාරයක වින්දිතයා කෙරෙහි වන අනුකම්පාව හේතුකොටගෙන ආවේගශීලී ඡන්ද ප‍්‍රතිශතයක් වෙනස් ඡුන්ද ප‍්‍රතිඵලයක් වෙත තල්ලූ කරනු ලැබිය හැකිය. දකුණු ආසියාවේ මැතිවරණ සහ ත්‍ර​ස්තවාදී ක්‍රියා අතරේ ප‍්‍රබල සම්බන්ධතාවක් පවතින බව බැහැර කළ නොහේ. මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාර තුළ නිතර සිදුවන එවැනි ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් අප දැක ඇති පරිදි, අනාගත ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ ප‍්‍රතිඵල කෙරෙහි සෘජු බලපෑම් ඒවා මගින් ඇති කැරැවීමට ඉඩ ඇති බව පෙන්වා දිය හැකිය.

*2019 සැප්තැම්බර් 9 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Bombing To Ballot: Uncomfortable Truths From South Asia නමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Source:Colombo Telegraph

Add a Comment

Your email address will not be published. Required fields are marked *