මැතිවරණ දින හවස හතරෙන් පසුව කුමක් වේද?

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

2015 වර්ෂයේ ජනවාරී 08 වෙනිදා ශ්‍රී ලංකාවට පමණක් නොව ශ්‍රී ලංකාව ගැන උනන්දුවෙන් පසුවන මුළු ලෝකයාටම විශේෂ දිනයක් විය. වසර දහයකට ආසන්න කාලයක් රාජ්‍ය පාලනය කළ රාජපක්ෂවරුන් බලයෙන් ඉවත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී සටන පැවැත්වූයේ එදා ය. දහවල ඡන්දය පාවිච්චි කළ රටවැසියන් රාත්‍රීයේ විද්‍යුත් මාධ්‍ය වලට ඇස, කණ යොමුකර සිටියේ ඒ ප්‍රීතිමත් මොහොත උදාවන තුරු ය.

එහෙත් මධ්‍යම රාත්‍රීය පසුවී එක්තරා මොහොතක රාජගිරියේ මැතිවරණ කාර්යාලය අභ්‍යන්තරයේ තැති ගත් මිනිසුන් කිහිපදෙනෙක් එකිනෙකාට මුමුණමින් මැතිවරණ කොමසාරිස්වරයා කරා ගියේ පිටත සිදුවෙමින් පවතින දේ පැහැදිලි කිරීමට ය. මැතිවරණ කාර්යාලය අසල රාජගිරිය ප්‍රදේශයේ  ශ්‍රී ලංකා යුද හමුදාවේ බල ඇණි ආක්‍රමනය කරමින් තිබුණි. කොළඹ නගරයේ හා තදාසන්න මර්මස්ථාන කිහිපයකටම එවැනි හමුදා අණුකණ්ඩ පැමිණෙමින් තිබුණි. 

ඒ අතර මැතිවරණ නිල ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීම ද අඩපණ වූ බවත් කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වටා ද නොසන්සුන්තාවක් ඇතිව තිබුණ බවත් පසුව මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ සියල්ල සිදුවූයේ අරලිය ගහ මන්දිරයේ සිදුවෙමින් පැවැති කුමන්ත්‍රණයක ප්‍රථිපල නිසා බව ද පසුව ආරංචි විය. 

වාර්තා වූ කරුණු වලට අනුව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පරාජය වී ඇත්තේ ඊට පොලිස්පතිවරයාගේත් යුද හමුදාපතිවරයාගේත් සක්‍රීය සහාය නොලැබුණ නිසා ය. මැතිවරණ දිනයේ දී කොළඹ ආරක්ෂාව සහතික කිරීම නම් වූ එම මෙහෙයුමේ දී පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා දිගින් දිගටම අවධාරණය කර ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කිසිම ක්‍රියාවකට තමන්ගේ සහාය නොලැබෙන බව ය.

රාජ්‍ය ආරක්ෂාව සදහා කෙතරම් නීති තිබුණත් ඒ නීති ක්‍රියාත්මක කරන්නට හා මහජන ආරක්ෂාව උදෙසා කෙතරම් සන්නාහ සන්නද්ධ බල ඇණි තිබුනත් නීතිය හා සාමය ආරක්ෂා වන්නේ ඉහළ මර්මස්ථානයන්හි සිටින පුද්ගලයන්ගේ පෞද්ගලික කැමැත්ත මත බව රහසක් නොවේ. එදින කොළඹ ආරක්ෂාව සහතික කිරීම සදහා වූ මෙහෙයුමේ දී පොලිස්පතිවරයාත් හමුදාපතිවරයාත් තම සහාය නීතිය හා සාමය ආරක්ෂා කිරීම සදහා ලබා නොදුන්නා නම් අදත් ආණ්ඩු කරන්නේ රාජපක්ෂවරුන් බව අමතක කළ යුතු නොවේ.

තීරණාත්මක මැතිවරණයක ප්‍රථිඵල නිකුත් වෙමින් පවතින මොහොතක  රටේ උදාවන්නේ අරාජිකත්වයකි. බලයේ සිටින ආණ්ඩුව බලයෙන් ඉවත්වෙමින් සිටින නිසා රාජ්‍යයට අණ නිකුත් කිරීමේ බලය අහෝසිවෙමින් තිබේ. බලයට පත්වන්නට නියමිත ආණ්ඩුව දිවුරුම් දී නොමැති නිසා රාජ්‍යයට අණ නිකුත් කිරීමේ අධිපති බලයක් නිර්මාණය වී නොමැත. එනිසා රාජ්‍ය පාලනයේ අරාජිකත්වයක් නිර්මාණයවීම තාර්කික ය. 2015 ජනවාරී 9 වැනිදා හිමිදිරි පාන්දර කොළඹ අගනගරය ආශ්‍රිතව සිදුවූයේ එයයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කුමක් සදහන්ව තිබුණ ද එවැනි තීරණාත්මක හා නිශ්චිත මොහොතක නීතිය හා සාමය ආරක්ෂා වන්නේ රාජ්‍යයේ ඉහළම නිලධාරීන්ගේ දේශපාලන හා පෞද්ගලික හැසිරීම මත  ය.එසේම ඔවුන්ගේ පෞර්ෂය මත ය. ඔවුන්ගේ හැසිරීම තවදුරටත් පාලනය වන සාධකයක් වන්නේ රටේ පවත්නා පූර්වාදර්ශී ක්‍රමවේදයයි. එනම් රාජ්‍ය බලය ලබා ගැනීම සම්බන්ධයෙන් රටේ පවතින ක්‍රමවේදයයි.

රාජ්‍ය බලය හුවමාරුවීම කෙරෙහි තදින් බලපාන සාධක අතර ශ්‍රී ලංකාව තුළ තවමත් අංක එකට එන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයයි. තවමත් පරමාදර්ශී ලෙස භාවිතාවට ගැනෙන්නේ මහජන කැමැත්ත අනුව බල හුවමාරුවයි. එහෙත් යම් නිශ්චිත මොහොතක ඉහළ දේශපාලන බලවේගයක අවශ්‍යතාව මත මහජන කැමැත්ත කෙසේ වුවත් රාජ්‍ය බලය තමන් අතට ලැබිය යුතු යැයි තීරණය කෙරුණහොත් පවත්වන මහජන ඡන්ද විමසීම් හුදු නාම මාත්‍රික වන්නේ ය.

එදා 2015 ජනවාරී 09 වැනිදා හිමිදිරි පාන්දර ඇතිවන්නට ගිය දේශපාලන කුමන්ත්‍රණයට තිත තැබුනේ රාජ්‍ය බලය තවදුරටත් රාජපක්ෂවරුන් අත තිබිය යුතු නැතැයි ද ප්‍රකාශයට පත්වෙමින් පවතින ජනාධිපතිවරණයේ ප්‍රථිඵල අනුව රාජ්‍ය පාලකවරයා තීරණ විය යුතු යැයි ද ඉහළම රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු කල්පනා කළ හෙයිනි. යම්හෙයකින් සන්නද්ධ හමුදා ප්‍රධානීන් සියල්ලම ද පොලිස්පතිවරයා ද ප්‍රකාශයට පත්වෙමින් තිබෙන මහජන කැමැත්ත කුමක් වුවත් තවදුරටත් රාජ්‍ය බලය හිමිවිය යුත්තේ  රාජපක්ෂවරුන්ට යැයි එදා තීන්දුවක සිටියා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් රටේ පරමාදර්ශී රාජ්‍ය පාලන සම්ප්‍රදායත් අවලංගු වන්නේ ය.

ඒ අන්දමින් මේ රටේ මූලික නීතිය යම් අවස්ථාවක අවලංගුවීමට පවතින ඉඩකඩ තවමත් ඒ අන්දමින්ම පවතී. ඊට හේතූන් ගණනාවක් පවතින අතර රටේ පවත්නා දේශපාලන නොසන්සුන්තාවත් රාජ්‍ය බලය කෙසේ හෝ ලබා ගැනීමට රාජපක්ෂවරුන් අතර පවතින නොතිත් ආශාවත් මෛත්‍රීපාල/ රනිල් ආණ්ඩුවේ දේශපාලන පෞර්ෂයේ ඌනතාවත් ඊට ප්‍රධාන හේතූන් වේ.  යම් සටකපට දේශපාලන බලවේගයකට කුමන්ත්‍රණකාරීව හැසිරීම සදහා පවතින අවකාශය ඕනෑවටත් වඩා ධනාත්මක ය.

රාජපක්ෂ දේශපාලන බලවේගය විසින් රාජ්‍යයේ බලය ඇල්ලීම සදහා සූදානම් වන්නේ සන්නද්ධ හමුදාවේ විශ්‍රාම ගිය නිලධාරීන් රැසක් සමග ය. ඒ අය අතර යුද සමයේ ඇතිවූ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් ශක්තිමත් චෝදනා ලැබූවන් ද සිටී. ඔවුන්ට අවශ්‍ය වන්නේ කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ තමන්ට හිතකර ආණ්ඩුවක් බලයට ගෙන එන්නට ය.  එසේම ඔවුන්ගේ හිතෛෂීන් තවමත් රාජ්‍යයේ මර්මස්ථානයන්හි පූර්ණ බලය සහිතව රාජකාරී කරමින් සිටී. යම් නිශ්චිත මොහොතක දේශපාලන හා මිලිටරිමය ජුන්ටාවක් නිර්මාණය කර ගැනීම ඔවුන්ට ඉතා පහසු ක්‍රියාවකි. 

2018 ඔක්තෝබර් 26 වැනිදා අග්‍රාමාත්‍ය ධූරයේ වෙනස්කමක් කරමින් ජනාධිපතිවරයා වෙනම දේශපාලන මගක යන්නට උත්සාහ දැරූ අවස්ථාවේ ද මේ කුමන්ත්‍රණකාරී බලවේග යළි ක්‍රියාත්මක විය. නොවැම්බර් 09 වෙනිදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේ මහා මැතිවරණයක් පවත්වන්නට ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් රටේ පැවැතියේ බලවත් දේශපාලන නොසන්සුන්තාවකි. එය නීත්‍යානුකූල නොවන බව රටේ ප්‍රබලම නීති විශාරදයෝ ප්‍රකාශ කළහ. ඒ තබා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් පවා තේරුම්ගෙන ක්‍රියා කලේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ය.

නමුත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය තවත් කොමිෂන් සභා සමාජිකයකු හා එක්වී තීරණයක් ගෙන තිබුණේ මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය බලතල මැතිවරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ට පැවැරීමට ය. එහෙත් එවැනි තීරණයක් ගන්නට පෙර වගකීමක් ඇති කොමිෂන්වරු ලෙස දෙතුන් වතාවක් සිතා බලන්නට ඔවුන්ට වගකීමක් තිබුණි. ඊට හේතුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී බවට රටේ මහත් ආලෝලනයක් ඇතිවී තිබූ බැවිනි. එහෙත් ඒ විරෝධය තුට්ටුවකට මායිම් නොකළ සභාපතිවරයා පොතේ හැටියට තීන්දුව ගනිමින් මහා මැතිවරණයකට සූදානම් විය.

ඉහළින් ලබාදෙන නියෝගයන් ක්‍රියාත්මක කළ යුත්තේ ඒවා නීත්‍යානුකූලදැයි තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් බවට ශ්‍රී ලංකා අධිකරණය තීන්දු තීරණ ලබා දී ඇත්තේ වරක් දෙවරක් නොවේ. තමන්ට ලබාදුන් නියෝගය මත කතරගම රූපසුන්දරිය මරාදැමීමට වෙඩි තැබූ බවට සාක්ෂි දුන් හමුදා සොල්දාදුවාට අධිකරණය බරපතල ද්ඩුවම් නියම කරමින් වරදකරු බවට පත් කළේ තමන්ට ලැබුණ නියෝගය නීත්‍යානුකූල නොවන බව සොයා නොබලා ඉහළ නියෝග ක්‍රියාත්මක කළ බැවිනි. හමුදා සොදාදුවන්ට පවා වලංගු රටේ අපරාධ නීතිය හා එහි පරමාදර්ශයන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අදාළ නොවීම බරපතල තත්ත්වයකි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පසුව අධිකරණය විසින් තීරණය කරන ලදි. එසේම එම අධිකරණ තීන්දුව ලබා ගැනීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ අය අතර මැතිවරණ් අකොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ද විය. මේ කාරණා දෙකම මැතිවරණ කොමිෂන් සභාවේ හෘද සාක්ෂිය විමසීම සදහා බලවත් කරුණු දෙකකි. එහෙත් මෙම කරුණු සම්බන්ධයෙන් තමන්ට බරපතල වගවීමක් ඇතැයි නොසිතමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාත් කොමිෂන් සභාවත් කටයුතු කළහ.

යම් තීරණාත්මක අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශයට පටහැනිව හා මහජන කැමැත්තට එරෙහිව රාජ්‍ය බලය හිමිවිය යුත්තේ කාටදැයි තීරණය කිරීමේ බලය රාජ්‍යයේ යම් යම් බලවත් නිලධාරීන් සතුව පවතී. ඔවුන්ව දේශපාලන අධිකාරියේ අවශ්‍යතාව මත කුමන්ත්‍රණකාරීව හසුරුවා ගැනීම වැළැක්වීම සදහා පියවර ගත හැක්කේ යහපත් දේශපාලන හා රාජ්‍ය පාලන ක්‍රමවේදයකට පමණි. එහෙත් අණ්ඩුවේ දේශපාලන යාන්ත්‍රණයම අවුල් ජාලාවක් බවට පත්ව ඇත. ජනාධිපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ ද සජිත් ප්‍රේමදාස ද යන්න හැර වෙනත් සිදුවිය හැකි දේශපාලන කුමන්ත්‍රණයන් ගැන ආණ්ඩුවට වගේ වගක් නොමැත. 

එවැනි භයානක වටපිටාවක සමාජයේ ආනගතය ඉදිරි ජනාධිපතිවරණ දින හවස හතරෙන් පසුව රාජ්‍ය බලය ඇල්ලිය හැකි දේශපාලන හා මිලිටරි ජුන්ටාවක කැමැත්ත මත තිරණය වුවහොත් ඒ සම්බන්ධයෙන් කතා කරන්නට කිසිවෙක් ඉතිරි නොවනු ඇත.

Source:Colombo Telegraph

Add a Comment

Your email address will not be published. Required fields are marked *