ශ්‍රී ලංකාවේ ආගම ප්‍රශ්නයකි. පිළිතුර කුමක්ද?

හර්ෂ ගුණසේන –

හර්ෂ ගුණසේන

සාමාන්‍යයෙන් ආගම ප්‍රශ්නයකට පිළිතුරක් විය යුතු නමුත් ශ්‍රී ලංකාවේ ආගම ප්‍රශ්නයක් වී තිබේ. එසේ නම් පිළිතුර කුමක් විය හැකිද? මිනිස් ඉතිහාසය පුරා දේශපාලන අවියක් ලෙස ජනතාව මර්දනය කිරීමට ආගම යොදාගෙන තිබේ. මධ්‍යතන යුගයේ ද ඊට පසුව ද ආගම නාමයෙන් නොයෙකුත් යුද්ධ ඇතිවී තිබේ. රටක ආගම ප්‍රශ්නයක් වූ විට එරට ආගමික නායකයන්ද ඇතුළු එරට වගකිව යුතු පුරවැසියන් විසින් එයට විසඳුමක් සොයා ගත යුතුය.  

ශ්‍රී ලංකාව අද වාර්ගික සහ ආගමික වශයෙන් බෙදී තිබේ. අන්තර් ආගමික සංහිඳියාවක් සඳහා සිය ආගම් සමාජය තුළ භාවිතා වන්නේ කෙසේද යන්න පිළිබඳව එම ආගමිකයන් විසින් ගැඹුරු අන්තරාවලෝකනයකින් යුතුව නිරීක්ෂණය කළ යුතුය. සමහර අවස්ථා වලදී එම ආගම් දේශනා කළ අවදියේ පැවති  සමාජ දේශපාලන තත්ත්වය අද තත්ත්වයට වඩා සපුරා වෙනස් විය හැකිය. උදාහරණයක් වශයෙන් බුදුහු අනාගතයේදී භික්ෂු විනයේ කුඩා සහ අනුකුඩා විනය කරුණු අවශ්‍ය නම් වෙනස් කර ගත හැකි බව මහා පරිනිබ්බාන සුත්‍රයේ වදාළහ. විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ සඳහන් වන පරිදි ප්‍රථම ධර්ම සංගායනාවේදී මේ පිළිබඳව ආනන්ද තෙරුන් ගෙන් විමසූ විට  කුඩා සහ අනුකුඩා යන්නෙහි නිශ්චිත අර්ථය විමසා දැන නොගන්නා ලද බව කියා සිටි හෙයින් ප්‍රථම සංගායනාවේදී ඒවා වෙනස් නොකරන ලදී. බුද්ධ ජයන්තියේදී බුරුමයේ පවත්වන ලද හයවන ධර්ම සංගායනාවේද මෙහි වෙනසක් නොකරන ලදී. එබැවින් භික්ෂුහු එකල පැනවූ විනය නීති ඒ ආකාරයෙන්ම  අදද පිළිපදිති. එය භික්ෂූන්ගේ ප්‍රශ්නයකි. යම් හෙයකින් මේ කාරණය සමාජ ප්‍රශ්නයක් වූවා නම් මහජනතාවට ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා බල කිරීමට අයිතියක් ඇතැයි මම සිතමි. මක්නිසාද යත් ආගම පවතින්නේ ජනතාව වෙනුවෙන් නිසාය. ජනතාව පවතින්නේ ආගම වෙනුවෙන් නොවන නිසාය. බහු ජනයාගේ හිත සුව පිණිස සංචාරයේ යෙදෙමින් ඔවුන්ට ධර්මය කියා දෙන ලෙස සිය ශ්‍රාවකයන්ට බුදුහු කීහ. මෙම කාරණය ඍග් වේදයේද සඳහන් වේ.

මෙම රචනය මගින් ශ්‍රී ලංකාවේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රස්තුත කාරණය පිලිබඳ මෙරට පවතින ප්‍රධාන ආගම් දෙකක් වන බුදුදහම සහ ඉස්ලාම් දහම සම්බන්ධව සමාලෝචනයක් ඉදිරිපත් කරනු ලැබේ. සමාලෝචනයේ දෘෂ්ටි කෝණය මහජනතාවගේ දෘෂ්ටි කෝණයයි. ආගමික බලධාරීන්ගේ දෘෂ්ටි කෝණය නොවේ. 

බුදු දහම 

අතීත ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූහු ග්‍රන්ථ ධුර සහ විපස්සනා ධුර වශයෙන් දෙකොටසකට බෙදී සිටියහ. ග්‍රන්ථ ධුරය යනු පොත් පත් අධ්‍යයනය කිරීම වන අතර විපස්සනා ධුරය යනු  එදිනෙදා ජිවිතයේ එහි භාවිතයයි. ඒ යුගයේදී බෞද්ධ පිටක ග්‍රන්ථ කටපාඩමෙන් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ නිසා පිටක ග්‍රන්ථ රැක ගැනීම සම්බන්ධයෙන් ග්‍රන්ථ ධුරය විපස්සනා ධුරයට වඩා විශේෂ කාර්ය භාරයක් කළා වන්නට පුළුවන. එනමුත් බුදුහු භාවිතය හෙවත් විපස්සනාව උතුම් කොට සැලකුහ. ක්‍රිස්තු වර්ෂයෙන් පළමු ශත වර්ෂයේදී වළගම්බා රජ සමයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරණ ලද අතර එය අද අන්තර්ජාලයේද තිබේ. 

ග්‍රන්ථධුරය පසු කලෙක බෞද්ධ පොතපත පමණක් නොව සාහිත්‍යය සහ ඉතිහාසය වැනි වෙනත් විෂයයන්ටද ව්‍යාප්ත විය. එයට හේතුව වූයේ  ක්‍රිස්තියානි මිෂනාරි වරුන් මෙරටට පැමිණෙන තෙක් වසර 2500 ක් තුළ මෙරට අධ්‍යාපනය බෞද්ධ පිරිවෙන් කේන්ද්‍රගතව පැවතීමයි. පසළොස් වන ශත වර්ෂයේදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ විශිෂ්ට සිංහල පද්‍ය ග්‍රන්ථ රචනා කළ අතර මෙවැනි ක්‍රියා බුදුන් අනුමත කලේ නැත. 

බ්‍රිතාන්‍ය යුගයේදී ක්‍රිස්තියානි මිෂනාරි වරුන් විසින් ක්‍රිස්තියානි පාසල් ආරම්භ කිරීමෙන් පසුව පිරිවෙන් ආශ්‍රිතව තිබූ අධ්‍යාපනය ක්‍රිස්තියානි පාසල් වලට මාරු වන්නට විය. බෞද්ධ ශිෂ්‍යයන්ට ක්‍රිස්තියානි වටාපිටාවක අධ්‍යාපනය ලබන්නට සිදුවීම නිසා ඔවුන් ක්‍රිස්තියානි ආගමට හැරවීම සඳහා බලපෑම් එල්ල වන්නට විය. 1873 දී  ක්‍රිස්තියානි සහ බෞද්ධ දෙපාර්ශ්වය අතර පානදුරා වාදය ඇතිවූ අතර එහි විවාද වූ කරුණු වල පිටපතක් ඇමෙරිකන් ජාතිකයකු වූ හෙන්රි ස්ටීල් ඕල්කට් ට කියවන්නට ලැබින.  බෞද්ධයන්ට උදවු පිණිස  1880 දී ඔහු මෙරටට පැමිණි අතර ඔහු රට පුරා බෞද්ධ පාසල් ආරම්භ කළේය. අනගාරික ධර්මපාල විසින් ඕල්කට් ආරම්භ කළ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන ලදී. 19වන ශත වර්ෂයේ ඇතිවූ බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ මඟ සලකුණු මේවා ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රිස්තියානි රාජ්‍ය තන්ත්‍රයේ මර්දනයට ලක්වී සිටි බෞද්ධ භික්ෂුන් මර්දනයට එරෙහිව ඉදිරියට පැමිණියහ. භික්ෂුන් දේශපාලනීකරණය වීම ඉදිරියට ගිය අතර එය ස්ථාපිත වූයේ 1946 පෙබරවාරි 13 වනදා විද්‍යාලංකාර පිරිවෙන මගින් නිකුත් කළ විද්‍යාලංකාර ප්‍රකාශනය මගිනි. ඒ මගින් සිය දායකයන්ගේ අභිවෘද්ධිය උදෙසා සමාජ සහ දේශපාලන ක්‍රියා වල යෙදීම සාධාරණිකරණය කරණ ලදී. මෙම තත්ත්වය නිදහසෙන් පසුවද ඉදිරියට පැවතිනි. බ්‍රිතාන්‍යයන් ලංකාව හැර ගිය පසු දෙමළ ජාතිකයන්ට විරුද්ධව මෙම ව්‍යාපාරය ක්‍රියාත්මක වූ අතර එම හේතුවෙන් වසර 30 ක වාර්ගික යුද්ධයෙන් පසුවද සැමට එකඟ වන පරිදි වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. දැන් යුද්ධයෙන් පසුව විරුද්ධත්වය මුස්ලිම් ජාතිකයන් වෙත එල්ල වී තිබේ.   

වර්ෂ 1956 දී ලෝකය බුද්ධ ජයන්තිය සමරන ලදී. මේ සමඟම ලොව පුරා අධ්‍යාත්මික වශයෙන් බෞද්ධ පුනරුදයක් ඇතිවිය. දස දින භාවනා වැඩ සටහන් මඟින් තායි සහ බුරුම භික්ෂූන් විසින් පරපුරෙන් පරපුරට රැගෙන ආ විපස්සනා භාවනා ක්‍රම ගිහියන් අතට ද පත්විය. මේවා බටහිරටද පැතිරී ගිය අතර 1970 ගණන් වල බටහිර වෛද්‍ය වරුන් විසින් අනාපාන සති භාවනාව මානසික ආතතිය සඳහා ප්‍රතිකර්මයක් ලෙස භාවිතා කරණ ලදී. පසුව දලයි ලාමා තුමාගේද අනුග්‍රහය ඇතිව පළපුරුදු විපස්සනා භාවනානුයෝගීන් බටහිර විද්‍යාඥයන් විසින් පරික්ෂාවට ලක් කරණ ලද අතර භාවනාව මගින් මානසික ආතතිය අඩුවන අතර මනස සන්සුන් වන බව ඔවුන් විසින් තහවුරු කර ගන්නා ලදී. මේවා බෞද්ධයන්ගේ භාවනාවේ පරමාර්ථ සමඟ ගත කල ප්‍රාථමික මට්ටමේ ප්‍රතිඵල වුවත් මෙම මැනීම් මගින් බටහිර ජනයා තුළ මේ පිලිබඳ විශ්වාසය ස්ථාපිත විය. අද විපස්සනා භාවනාව බටහිර බොහෝසෙයින් පැතිර ඇති අතර පාසල් විෂය නිර්දේශයන්ටද ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මෙම බෞද්ධ පුනරුද ව්‍යාපාර දෙකෙහිම විකාශයන් දක්නට ලැබේ. පළමුවන පුනරුද ව්‍යාපාරය බෞද්ධයන්ගේ සමාජ සහ දේශපාලන අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වූ අතර දෙවන පුනරුද ව්‍යාපාරය බෞද්ධයන්ගේ අධ්‍යාත්මික ප්‍රගමනය පිලිබඳ සැලකිලිමත් විය.

පළමු පුනරුද ව්‍යාපාරය මූලිකවම යටත් විජිත පාලකයන්ට එරෙහිව ක්‍රියාත්මක වූ අතර දෙවනුව එය මෙරට වෙසෙන වෙනත් ජන කොටස් සහ වෙනත් ආගමිකයන්ට එරෙහිව ක්‍රියාත්මක විය. එබැවින් එය නිදහසට පෙර සාධනීය කාර්ය භාරයක් ඉටු කලත් නිදහස් ලංකාව තුළ සියළු ජන වර්ග සහ ආගමිකයන් ඒකරාශී කිරීමට අසමත් විය. අපි දැන් නිදහස් ජාතියක් වන අතර මෙරට පුරවැසියන් අතර ගැටුම් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නැත. එසේ වුවහොත් රටේ සංවර්ධනය අඩාල වේ. යටත් විජිත යුගයේ මෙන් නොව වැඩි පිරිස වන සිංහලයෝ  සහ බෞද්ධයෝ රටේ අධිපත්‍යය දරති.

සමාජයේ විපස්සනා භාවනාවට ඇති ඉල්ලුම සලකා බැලීමේදී දෙවන බෞද්ධ පුනරුදයේ ප්‍රතිඵල දැක ගත හැකිය. විපස්සනා  භාවනාව හෝ මෛත්‍රී භාවනාව හෝ වැඩීම ආගමික පූජා විධි වලින් තොරව ආගමික නොවන පරිසරයක සිට කළ හැකිය. මෛත්‍රී භාවනාව සිංහලුන්ටද දෙමළුන්ටද මුස්ලිම් වරුන්ටද ක්‍රිස්තියානින්ටද හින්දුන්ටද එකසේ පැතිරවිය හැකිය. මෙය සුවපත්වීමේ ආරම්භයයි. මෙය සියළුම ආගමිකයන්ට සහ සියළුම ජාතීන්ට කළ හැකිය. මෙය සුවපත්වීමේ සහ පුද්ගලික සහ සමාජයීය වශයෙන් තමන් අවබෝධ කරගැනීමේ ක්‍රියාවලියක ආරම්භයයි. 

එබැවින් බෞද්ධයන්ද භික්ෂුන්ද එදිරිවාදිකම සහ සැකය පතුරවන පළමුවන පුනරුද ව්‍යාපාරය සමඟ නොව සාමය සහ අවබෝධය පතුරවන දෙවන පුනරුද ව්‍යාපාරය සමඟ එක් වන්නේ නම් එය වඩාත් තර්කානුකුල වේ.

ඉස්ලාම් දහම 

කාන්තාවන්ගේ ඇඳුම පිලිබඳ ප්‍රශ්නයක් ඉස්ලාම් ආගම සම්බන්ධයෙන්  තිබේ. ඉස්ලාම් ආගම දේශනා කරණ ලද යුගයේදී මැද පෙරදිග මතු නොව ලොව බොහෝ පෙදෙස් වල කාන්තාවන්ට තිබුනේ පිරිමින්ට හා සමාන අයිතියක් නොවේ. ලොව කාන්තාවන්ට ඡන්ද බලය ලැබුනේද පිරිමින්ට පසුවය. දැන් තත්ත්වය වෙනස්ය. ඉස්ලාම් ආගමික නායකයන් මේ කරුණු සැලකිල්ලට ගත යුතු යයි මම යෝජනා කරමි. දැනට අවුරුදු 50 කට පමණ පෙර මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම වූයේ ජෙසීමා ඉස්මයිල්, ෆේරියල් අශ්රොෆ් සහ බංගලා දේශ අගමැතිනි ශික් හෂිනා වැනි සම්භාවනීය මුස්ලිම් කාන්තාවන්  අදද අඳින ඇඳුමයි. එසේ වුවත් කිසිවකුට තවත් කණ්ඩායමක ඇඳුම වෙනස් කිරීම සඳහා බල කළ නොහැක. එය එම කණ්ඩායම විසින් හෝ පුද්ගලයන් විසින් හෝ තීරණය කළ යුතුය.

ඇඳුම පිලිබඳ පසු කාලීනව ඇතිවූ වෙනස 1977 න් පසුව මැද පෙරදිග විශේෂයෙන්ම සවුදි අරාබියේ රැකියාවන් සඳහා ලංකාවෙන් ගිය මුස්ලිම් තරුණියන් මෙරටට ගෙන ආ දෙයක් බව මගේ මුස්ලිම් මිත්‍රයන් මා සමඟ කියා ඇත. එහි යම් සත්‍යතාවයක් තිබේ. එමෙන්ම සවුදි අරාබියේ සියවස් කිහිපයකට පෙර ආරම්භ වූ වහාබ්වාදය හේතුවෙන් සහ වහාබ්වාදය  මෙරට පැතිරීම හේතුවෙන් මෙරට සංස්කෘතිය හා බැඳී සිටි මුස්ලිම් ජනතාව එම මූලයන් ගෙන් ඈත් වීම සිදුවූ බවද සත්‍යයකි. 

නබි නායක තුමා ඉපදුනේ සවුදි අරාබියේ මක්කමේ දිය. සවුදි අරාබිය ලොව ප්‍රමුඛතම මුස්ලිම් රාජ්‍යයයි. එබැවින් ආගමික අධිපත්‍යය සම්බන්ධයෙන් සවුදි අරාබියේ අද පවතින තත්ත්වය විමර්ශනය කිරීම සුදුසුය.

සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහමඩ් බින් සල්මන් හෙවත් MbS එරට අබ්දුල්ලා රජු විසින් ආරම්භ කරණ ලද ප්‍රතිසංස්කරණ කරගෙන යයි. වර්ෂ 2005 දී  එරට පිරිමි සහ ගැහැණු තරුණ තරුණියන් පිටරට යවා ඉගැන්වීමේ දැවැන්ත ක්‍රියාවලියක් අබ්දුල්ලා රජු විසින් අරඹන ලදී. පිටරට නොගිය තරුණ තරුණියෝද වැඩුනේ අන්තර්ජාල භාවිතය සමඟය. චීනයේ මෙන් නොව සවුදි අරාබියේ සමාජ මාධ්‍ය තහනමක් නොමැත. ජමාල් කශෝගී ඝාතනය පිළිබඳව MbS බරපතල ලෙස විවේචනය කරණ CNN නාලිකාව එරටට  විවෘතය. අබ්දුල්ලා රජු කාන්තාවන්ට ජාතික හැඳුනුම් පත් නිකුත් කිරීමටද ඔවුන්ට  තනිවම හෝටල් වලට යාමටද නගර සභාවන්හි ඡන්දය පාවිච්චි කිරීමටද ගල්ෆ් කලාපය තුළ පුරුෂයන්ගේ අවසරයකින් තොරව යාම් ඊම් කිරීමටද අවසර දුන්නේය. ඒ සමයේදී ජාතික ශුරා කවුන්සිලයට කාන්තාවන්ද  පත් කෙරිනි. MbS මෙම ප්‍රතිසංවිධාන දිගටම කරගෙන යයි. මෑතකදී ඔහු කාන්තාවන්ට රිය පැදවීමේ බලපත් ලබා දුන්නේය. එරට ආගමික පූජක වරු වරින් වර ජනතාව ගැවසෙන ස්ථාන වලට පැමිණ කාන්තාවන් ගේ ඇඳුම් පිළිබඳව ඔවුන්ට නොයෙකුත් විධාන දෙන සිරිතක් අනුගමනය කළහ. MbS ගේ නියෝග මත මෙම අනවශ්‍ය කටයුතු වලින් බැහැර වීමට එරට පූජක වරුන්ට සිදුවී ඇත. මේ නිසා කාන්තාවන්ට මග තොටේදී වන පූජක බලපෑම් වලින් මිදීමට හැකියාව ලැබී ඇත.

සවුදි අරාබිය අරාබිය අනුගමනය කරණ මුස්ලිම් වරුන් එරට මෙන් මෙරටද ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සුදුසු වේ.

ප්‍රතිසංවිධාන පිළිබඳව ලංකාවේ වඩාත්ම ආන්දෝලනාත්මක කාරණය වන්නේ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතයි. මුස්ලිම් කාන්තාවන් වසර 30 ක් මුළුල්ලේ මේ පනතට එරෙහිව ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. මේ ප්‍රතිසංවිධාන ඇති කිරීමට පිළිබඳව රජය විසින් 2009 දී සලීම් මසුෆ් විනිසුරු තැන ගේ ප්‍රධානත්වයෙන්  කමිටුවක් පත්කර එහි වාර්තාව දැන් නිකුත් කර ඇත. මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යෝජනා 14 කට අනුමැතිය දී ඇතත් මෙම ප්‍රතිසංවිධාන ක්‍රියාත්මක කිරීමට ජමයිතුල් උලමා සංවිධානය විරුද්ධ වන බවට වාර්තා ලැබී ඇත.  එම සංවිධානයේ සභාපති රිස්වි මෆ්ටි මෙම පනතේ වෙනස් කිරීමට කිසිවක් නොමැති බව ප්‍රකාශ කර ඇත. 

ලංකාවේ මුස්ලිම් දැරියන්ගේ විවාහ වන අවම වයස 12කි. සවුදි අරාබියේ 2019 ජනවාරි සිට වයස 15 ට අඩු දැරියන් විවාහ කර දීම නීතියෙන් තහනම් වේ. මෙම තීරණය එරට ශුරා කවුන්සිලය 2/3  ක වැඩි ඡන්දයෙන් අනුමත කර ඇත. වයස 18 ට අඩු දැරියන් උසාවි අවසරයකින් විවාහ කර දිය හැක. 

ලංකාවේ පනතට අනුව කාන්තාවන්ගේ අවම විවාහ වන වයස 18ක් කරණ ලෙසද, කාන්තාවන් විවාහ රෙජිස්ටාර් වරුන් ලෙස හා අදාල උසාවි වලට පත් කරන ලෙසද පනත් සියළුම මුස්ලිම් වරුන්ට ඒකාකාරව ක්‍රියාත්මක කරණ ලෙසද විවාහ ලියාපදිංචි සහතිකයේ මනාලයා ගේ සහ මනාලියගේ අත්සන් දෙකම ඇතුළත් කරණ ලෙසද විවාහය බලාත්මක කිරීම සඳහා ලියාපදිංචිය අත්‍යවශ්‍ය වන ලෙසද වැඩිහිටි මුස්ලිම් කාන්තාවන්ට විවාහ වීම සඳහා කිසිම පුරුෂයකුගේ අවසරය අනවශ්‍ය ලෙසද දික්කසාදය සඳහා කාන්තාවන්ගේ සහ පුරුෂයන්ගේ අයිතීන් එක හා සමාන වන ලෙසද මුස්ලිම් උසාවි ක්‍රමය කාන්තාවන්ට සහ පුරුෂයන්ට සමාන ප්‍රවේශයන් ඇතිවන සේ ප්‍රතිසංවිධානය කරණ ලෙසද ප්‍රතිපාදන සලස්වන මෙන් මුස්ලිම් කාන්තාවෝ ඉල්ලා සිටිති.

මෙම ඉල්ලීම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුකුල වේ. එබැවින් ශ්‍රී ලංකාවේ ජමයිතුල් උලමා සංවිධානයට  මෙම ඉල්ලීම් වලට එකඟ විය හැකි නම් ඒ අගනේය.  කාන්තාවන්ට මේ ආකාරයෙන් සැලකීම මධ්‍යතන යුගයේ නිර්ණායක අනුව සාධාරණ විය හැකි වුවත් වර්තමානයේ ලොව පුරා පිළිගැනෙන නිර්ණායක අනුවද මුස්ලිම් වරුන්ගේ මූලස්ථානය වන සවුදි අරාබියේ වර්තමාන ගමන් මඟ අනුවද උචිත නොවේ. 

සමාප්තිය 

ක්‍රිස්තියානි පල්ලිය අනුක්‍රමයෙන් ශ්‍රී ලාංකික සංස්කෘතිය වැළඳ ගනිමින් සිටියි. මෙය ක්‍රිස්තියානි පල්ලියේ සියළු නිකාය මගින් දැනුවත්ව ගත් තීරණයකි. එනමුත් මුස්ලිම් පල්ලිය මෙරට සංස්කෘතියෙන් ඉවත් වීමට උත්සාහයක් දරන බව පෙනෙන්නට තිබේ. මේ මගින් මුස්ලිම් සමාජය ඉස්ලාම් ආගමේ කොටසක් නොවන මුස්ලිම් ශිෂ්ඨාචාරය සමඟ අනන්‍ය වීමට උත්සාහ දරයි. මෙය සැමුවෙල් හන්ටින්ටන් විසින් වරක් පෙන්වාදුන් පරිදි ශිෂ්ඨාචාර ගැටුමකට මඟ පෑදිය හැක. අනෙක් අතට පළමු බෞද්ධ පුනරුද ව්‍යාපාරය සමඟ අනන්‍ය වූ සටන්කාමී සිංහල  බෞද්ධයෝ වෙනත් ආගමිකයන් හා වෙනත් ජන වර්ග කෙරෙහි සතුරු ආකල්පයක් දරති. පළමු බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ ආරම්භයට පෙර මුස්ලිම් වරුන් යුරෝපිය ආක්‍රමණිකයන් බේරා ගැනීමට ඔවුන් උඩරට පළාත් වල පදිංචි කර ඔවුන් රැක බලා ගත්තේ සිංහල බෞද්ධයන් සහ ඔවුන්ගේ රජවරුන් බව අප විසින් මතක තබා ගත යුතුය.  

එබැවින් ආගම් විසින් සමාජ සහ දේශපාලන කරුණු වලට වඩා වැඩි අවධානයක් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරණ අධ්‍යාත්මික කරුණු කෙරෙහි යොමු කළ හැකි නම් ආගම් ඒවා පවතින සමාජ වලට ප්‍රශ්නයක් නොවී සමාජ වල ප්‍රශ්ණ වලට පිළිතුරක් විය හැක.

Source:Colombo Telegraph